Thursday, March 4, 2010

වැඩිහිටි තොත්ත බබාලා

බ්ලොග්කරණය ලංකාව තුල පැතිරුණු කාලයේ පටන් අපි විවිධ බ්ලොග් කියවීමට ආසාවක් දැක්වූවෙමු. සාම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ ගලා එන ඒක පාර්ශවික සන්නිවේදනයෙන් එහාට යා යුතු කාලය පැමිණ ඇතැයි අපට ඒ වන විට වැටහී තිබුනි. අවුරුද්දකටත් වැඩි ප්‍රමාණයක් බ්ලොග් කියවමින් ප්‍රතිචාර දක්වමින් ගත කල පසු බ්ලොග්කරණය සන්නිවේදන මාධ්‍යයක් ලෙස සාර්ථක වන බව වැටහී ගිය හෙයින් අපගේ සිතුම් පැතුම් එලි දැක්වීමට මෙලෙස බ්ලොග් අඩවියක් ආරම්භ කෙරුවෙමු.


අන්තර්ජාලය ස්වාභාවයෙන්ම රස්තියාදුකාර තැනකි. එහි නීති සීමා පැනවිය නොහැක. අන්තර්ජාලය වර්ධනය වන්නේද මෙම රස්තියාදුකාර හිපි සංස්කෘතිය හේතුවෙනි. සම්මත නැත. නීති නැත. ඇත්තේ නොකඩවා වෙනස් වෙන එකඟතා පමණි.


නමුත් අප දින කිහිපයක සිට දුටු පරිදි විකාර රූපී සිමා බන්ධන කිටි කිටියේ අපව වට කරමින් පවතී. මෙම බ්ලොග් අඩවියේ සටහන් පලවන එක් අඩවියක් විසින් දේශපාලනය පල කෙරෙන බ්ලොග් අඩවි ප්‍රධාන පිටුවෙන් ඉවත් කර වෙන් කර දැමීමට තීරණය කර ඇත. ඒ වෙනුවට ප්‍රධාන තැන හිමි වන්නේ තාක්ෂණික, පෞද්ගලික හා ආගමික ආදී වෙනත් විශයයන් ආශ්‍රිත අඩවි වෙතටයි. මෙය අප හට සංකේතීය වශයෙන් වැදගත් වන ක්‍රියාමාර්ගයකි.


අද කෙනෙකුගෙන් දේශපාලනය ගැන විමසුවහොත් ලැබෙන වඩාත් ප්‍රචලිතම පිළිතුර වන්නේ “අනේ අපි ඕවට නෑ” යන වදන් පෙලයි. ‍එසේ නම් පිළිගත් මතය වන්නේ අදේශපාලනික වීම සුදුසු බවයි. ‍දේශපාලකයින් යන පිලිකුල් සහගත රෑන ඕනෑ දෙයක් කර ගත්තාවේ. අපි අදේශපාලනික වී අපේ වැඩක් බලා ගනිමු. මෙය සෑම විටම ප්‍රචාරය කෙරෙන පණිවිඩයයි.


පසුගිය සති කිහිපය තුල අන්තර්ජාලය තුල සිදු වූ දේශපාලනීකරණය (තාවකාලික හා තේරුමක් නැති වුවත්) වෙත මෙවැනි පුද්ගලයින් යොමු කලේ පරම පවිත්‍ර විය යුතු බවට එල්ල කෙරෙන අවියයි.


“අනේ ඔයාලා මඩ ගහ ගන්න එපා. මේ සින්ඩියත් කැත වෙනවා. බලන්න ලස්සනට තියෙන සින්ඩිය”


දේශපාලකයින් දේශපාලනය යනුවෙන් කිසියම් වූ දෙයක් කරමින් මෙරට අගාධයට යවන බව සත්‍යයකි. එය වෙනස් කරන බව පවසන විකල්පය ලෙස පෙනී සිටින්නන්ද දේශපාලනය නැමැති මඩ ගොහොරුවේම දඟලන බවද සත්‍යයකි. නමුත් අදේශපාලනීකරණය මෙය හට පිළීතුර වන්නේ කවදා සිට ද?


ජරාවට පත් වෙමින් පවතින සිස්ටම් එක වඩාත් හොඳින් තේරුම් ගත හැකි වන්නේ අදේශපාලනික වීමෙන් ද? නොවෙනස් වන සමාජ විෂමතාවයනුත්, සමාජ ස්තර අතර ඇති නොනවතින ඝට්ඨනයත් තේරුම් ගන්නේ නැතිව සමාජයක් වෙනස් කිරීම කෙලෙස සිදු කල හැකි ද? දේශපාලකයින්ට බනිමින්, පවතින රජයන්ට බනිමින් අදේශපාලනික වීමේ තේරුම කුමක් ද?


මෙහි සත්‍යතාවය මෙයයි. මෙම ඊනියා පවිත්‍ර පුද්ගලයින්ට අවශ්‍ය දේශපාලනයක් නැත. ඔවුන්ට අවශ්‍ය සමාජ වෙනසක් නොමැත. එක්කෝ ඔවුන් සමාජය විනිවිද දැකීමට අපොහොසත්ව ඇත. නැතිනම් එසේ දැක දැකත් තමන් විඳින සැප නින්ද කඩා ගැනීමට ඔවුනට උවමනා නැත. ඔවුන්ගේ සැප නින්ද තුල ආගම දහම රැකීම තුලින් මෙලොව  සියල්ල එගොඩ කල හැකිය (නමුත් ඒ සඳහා පන්සලට පල්ලියට ආධාර නොමසුරුව කල යුතුය). වැරදි විවේචනය නොකල යුතුය. විවේචනය සිදු වන විට සිත් රිදු වීම් නොකල යුතුය (අනේ ඔයාගේ නිර්මාණය හලී ෂෝයී. මෙතන ඩිංගක් අවුල්. ඒත් ෂෝයි). දේශපාලනය නොකල යුතුය. ඒවා කරන්නේ නෝටි ලමයි විසිනි. ගූගල් සමාගමේ නව **පෑඩ් එක තරම් දෙයක් මෙලොව තුල නැත. යමෙකු එයින් එහා දෙයක් කතා කරයි නම් ඒ නෝටි වීම නිසාය. කේන්දර තරම් වටිනා දෙයක් තවත් නැත. එය අනෙකුත් දේවල් පරදවා (පුවත් පවා) මුල් පිටුවට පැමිණිය යුතුය. අවසන් වරට පැමිණෙන්නේ මහා විර ක්‍රියාවයි. දිවයිනේ හෝ දිනමිණේ කතුවැකි පිටපත් කර බ්ලොග් තුල දැමිය හැකි නම් එය තරම් සමාජ සත්කාරයක් තවත් නොමැත. නමුත් මේවා ලංකා හෝ රාවය පත්තරය සම්බන්ධයෙන් සිදු වේ නම් එය තනිකර බුද්ධිමය දේපල මොකද්ද එකට අයත් වරදකි.


මෙවැනි තත්වයක් තුල ඊට විරෝධයක් පෑමටවත් ඉදිරිපත් වන්නේ කිහිප දෙනෙක් පමණක් බව අපි දුටුවෙමු. තවත් කිහිප දෙනෙකු මෙම අඩවිය පාලනය කරන්නන්ට කොන්දේසි‍යකින් තොරව කඩේ යන බවද දුටුවෙමු. මෙය අතිශය ශෝචනීය තත්වයකි. අන්තර්ජාලය තුල මෙරට නියෝජනය කරන පිරිසක් කොඳු ඇට නාරටි නොමැති අදේශපාලනික වන්දිභට්ටයින් වී ඇත. ඔවුනට පරිගණකයක් ඉදිරිපිට රැඟුම් පෑමට ඇත්නම් ඊට වඩා දෙයක් අවශ්‍ය නැත.


දේශපාලනය, දේශපාලනීකරණය හා දේශපාලනික කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් අප මෙහිදී ඉදිරිපත් නොකරන්නෙමු. අදේශපාලනික ගන්ධබ්බයින්ට ඒවා ‍තේරුම් කර දීම අවශ්‍ය නොවේ. අන්තර්ජාලය වැඩ කරන්නේ නම්, ගූගල් මේල් වැඩ කරන්නේ නම්, Facebook වැඩ කරන්නේ නම් ඉන් එහාට අයිතීන් අවශ්‍ය නැත. පරිගණකයක් ඉදිරිපිට මවාගත් චරිතයකින් ඊමේල් යවමින්, Facebook ප්‍රෝෆයිලය ලස්සනට තබාගෙන හුරුබුහුටි ලැමිස්සියන් කිහිප දෙනෙකු යහළුවන් හැටියට තබා ගත හැකි නම් සිස්ටම් එක මාර ආතල්ය. හදිසියේ ගූගල් තහනම් වී ගියහොත් අන්න එදාට සිස්ටම් එක අබ්ලික් ය. එදාට අපි සමාජය වෙනස් කල යුතුය.


එක් අතකින් ඔබ වැන්නන් අදේශපාලනික වීම හොඳ දෙයකි. නැතිනම් ගූගල් තහනම ඉවත් වූ පසු නැවත ඔබ දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිවරණයක්ම අවශ්‍ය විය හැක.  දැනට නුඹලාට දේශපාලනය අවශ්‍ය නැත. සිස්ටම් එක කවදා හෝ පැමිණ වෘෂණ කෝෂ වලින් තද කර අල්ලා ගත් දිනයට පමණක් නැවත කියවා බැලීමට දේශපාලන කැටිගරියට යා හැකිය.


එක අතකින් මෙය මුළු මහත් ලාංකීය සමාජය පුරාම දැකිය හැකි ලක්ෂණයකි. තමන්ගේ ඇගේ නොවැදී යන කිසිම දෙයකින් තමන්ට හිංසා පීඩාවක් නැති බව සිතමින් ෆැන්ටසියක ජීවත් වන්නට මෙවැන්නන් වඩාත් ඇලුම් කරයි. දේශපාලනයට නොඇලී ඉන්නා තරමක් තමන් ට කිසිදු අන්තරාවක් නොවන බව මොවුන්ගේ තර්කනය අනුව සත්‍ය වේ. ‍සිංහල බ්ලොග්කරුවන් යැයි හඳුන්වාගන්නා මොවුන්ගේ මෙම ක්‍රියාව සංකේතීයව අප කියවන්නේ එලෙසිනි.


සිස්ටම් එක කැරකී තමාගේ ඔළුව උඩට මිටි පහර වදිනා තෙක් බලා සිටින්න. දේශපාලනය නැමැති වස්ත්‍රය ඉවත් කර අදේශපාලනිකව නිරුවත් ලෙස ජීවත් වන්න. ගුගල් සූප්පුව කටේ ගසාගෙන Facebook කවි පදයක් ගයමින් නින්දට යන්න. මිනිසා දේශපාලනික සත්වයෙක් නොවේ. මිනිසා සත්වයෙකි. දේශපාලනික යන්න අපට අදාල නැත. අපි හොඳ තොත්ත බබාලා වෙමු.

1 comment:

  1. ela niyamae oya sbu akn apa site aliyta damma ubltath ahamda ?

    ReplyDelete